Sunday 10 April 2016


Now you don't want willpower, substitute, NRT, antidepressant, electronic cigarette  or cut-down method to quit smoking. Just read a book. After reading this book or Allen Carr's EASY WAY TO STOP SMOKING you will not feel temptation to smoke or use any tobacco product again.

For more details visit ; 



සිගරට්බීම හෝ බුලත්විට කෑම නවත්තගන්න බැරි අයට මේ පොත කියෙව්වහම ආයේ දුම්කොළ පාවිච්චි කරන්න අදහසක් එන්නේ නැහැ.දුම්කොළයෙන් නිදහස් වූ ප්‍රීතිමත් පුද්ගලයෙක් බවට පත්වෙනවා.පොත කියවන ගමන් සිගරට් බොන්න පුළුවන්.සිගරට් නවත්තන්නේ පොත කියවලා ඉවර උනාමයි!

Q- නිකොටින් ලෝලිත්වය සුවකිරීමේ පහසු මග කියන්නේ මොකක්ද?

A- නිකොටින් කියන්නේ දුම්කොළයේ තියෙන අතිශයින්ම ඇබ්බැහිවන සුළු උග‍්‍ර විෂ රසායනයක්.මේක පළිබෝධනාශකයක් හැටියට පාවිච්චි කරනවා.කව්රු හරි කෙනෙක් බුලත්විට කනවනම්, සිගරට් හරි බීඩි හරි බොනවනම් ඒ පුද්ගලයාගේ ලේ වලට මේ විෂ රසායනය එකතු වෙනවා.නිකොටින් ලෝලිත්වය කියන්නේ මේ විෂ රසායනයට තිබෙන කෑදරකම.ආසාව.වෙනත් විදියකින් කිව්වොත් බීඩි,සිගරට් බොන්නයි බුලත්විට කන්නයි තියෙන ආසාව.මෙන්න මේ විෂ රසායනට දක්වන ආසාව එහෙම නැත්නම් ඇබ්බැහිය කියන්නේ මානසික ලෙඩක්. මේ ලෙඬේ සනීප කරන්න පුළුවන් ලේසි ක‍්‍රමයක් තියෙනවා. පහසු මග කිව්වේ ඒක.

Q- ඇබ්බැහිවෙනවා කියන්නේ මොකක්ද?

A- ඔය වචනේ පාවිච්චි වෙන්නේ මත්ද‍්‍රව්‍යය ගැන කථා කරන කොටයි. මත්ද‍්‍රව්‍යයක් කියන්නේ අපේ ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය විකෘති කරලා මත්බවක් ඇතිකරන ඕනෑම ද‍්‍රව්‍යයකට.මේ මත්ද‍්‍රව්‍යය තමන්ගේ ඇගට හොඳ නෑ කියලා දැන දැනත්, තමන්ට ආදරය කරන මිනිස්සු තමන් මේ මත්ද‍්‍රව්‍යය පාවිච්චි කරනවට කැමති නෑ කියලා දැන දැනත් ඒ මත්ද‍්‍රව්‍යය නවත්තනේ නැතුව ආයෙ ආයෙමත් පාවිච්චි කරන්න හිතෙනවා.නැවැත්තුවොත් අයියෝ` මං කරගත්තු මෝඩකමක් කියලා සිත් වේදනාවක් හට ගන්නවා.ඇබ්බැහිවෙනවා කියන්නේ ඒකයි.

Q- දුම්කොළයේ තියෙන්නේ නිකොටින් විතරද?

A- දුම්කොළයේ රසායන වර්ග 4000ක් පමණ තිබෙනවා. ඒවායින් 250ක් විතර උග‍්‍ර විෂ රසායන.65ක් විතර පිළිකා ඇතිකරන රසායනත් තියෙනවා.

Q- මගෙ අම්මෝ එතකොට සිගරට්,බුලත්විට බීඩි කියන්නේ විස ගුලියක් නේ` ඉතින් ඇයි මේ මිනිස්සු ඒවට මෙච්චර කැමැත්තක් දක්වන්නේ?

A- මිනිස්සුන්ව ගොනාට අන්දලයි තියෙන්නෙ?

Q- කවුද අපිව ගොනාට අන්දලා තියෙන්නේ?

A- නිකොටින් උගුල තමයි මිනිස්සුන්ව ගොනාට අන්දවන්නේ

- ඒ කිව්වේ!

- සිගරට් එකේ තියෙන විෂ රසායන හා තාර වලින් අපේ ශරීරයේ සෑම සෛලයකටම හානි කරනවා. හිසේ පටන් දෙපතුල දක්වා සෑම අවයවයකටම හානි කරනවා. ලිංගික බෙලහීනතාවය, අංශභාගය, හෘදයාබාධ, පිළිකා විතරක් නෙමේ. ලිස්ට් එක ගොඩාක් දිගයි. සිගරට් බොන කට්ටිය ඒකෙන් ඇතිවන පලවිපාක ගැන දන්නවා.තමන් කවදාහරි දවසක සිගරට් බීලා බීලා මැරෙන බවත් දන්නවා. ඒත් මේක නවත්තගන්න තමන්ගේ හිත ඉඩදෙන්නේ නැහැ.මේක තමයි නිකොටින් උගුලේ සටකපටකම කියලා කියන්නේ.එහෙම වෙන්නේ ඇයි කියලා සිගරට් බොන කෙනාවත් දන්නේ නැහැ.සිගරට් එක තමන්ව මරලා දානකම් ඒ අය දන්නේ නැහැ.ඒ තරමටම ඒ අයගේ සිහිය දුර්වල වෙලයි තියෙන්නේ.

Q- මේක තව පැහැදිලි කරන්න පුළුවන්ද?

A- ඔව්! නිකොටින් උගුල කියන්නේ ජනගහනය පාලනය කරන්න සොබාදම් මාතාව අටවපු උගුලක්.ඒ උගුල පාවිච්චි කරලා බහුජාතික සමාගම් අධික ලාභ උපයනවා.

Q- නෑ! ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ටත් මඟුල් කියලා කිව්වේ ඕකට වෙන්ඩැති නේද?

A- හරියටම හරි! නිකොටින් උගුල වැඩ කරන හැටි මං දැන් කියලා දෙන්නම්.මේක මෙච්චර කාලයකට මිනිස්සු දැනගෙන හිටපු නැති, විස්තර කරලා දීපු නැති අභිරහසක්. මේක දැන ගත්තා කියන්නේ ආයේ කිසිම මත් උගුලකට තමන්ව ගොනාට අන්දන්න බෑ.මේ දැනුමින් කෙනෙක් සන්නද්ධ උනොත් එයාට සියළුම මත් උගුල් වලින් ගැලවිලා නිදහස් වෙන්න පුළුවන්.

- අනේ ,ඒක මටත් විස්තර කරලා දෙනවද?

A- නිකොටින් කියන්නේ වතුරේ දියවන විෂ රසායනයක්.බුලත්විට කෑවහම හරි සිගරට් බිව්වහම හරි නිකොටින් අපේ ලේ වලට එකතු වෙලා මුළු ඇග පුරාම ගමන් කරනවා.ලේ වල දියවිච්ච නිකොටින් මුත‍්‍රා සහ දහඩිය එක්ක ඇගෙන් අයින් වෙනවා.එතකොට ලේ වල තියෙන නිකොටින් ප‍්‍රමාණය අඩුවෙලා අපට අසහනකාරී පාළු අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නට පටන් ගන්නවා.මට බුලත්විටක් කන්න ඕනේ! සිගරට් එකක් බොන්න ඕනේ! අත්වලින් හා කටින් යමක් කරන්න ඕනේ වගේ අසහනකාරී හැඟීමක් එනවා.

මේකට ඉංග‍්‍රීසිියෙන් කියනවා නිකොටින් විත්ඩ්‍රෝවල් සිම්ප්ටම් කියලා (Nicotine Withdrawal Symptom) .සිංහලෙන් කියනවා නිකොටින් බැහැරවීමේදී ඇතිවන අපහසුතාවය කියලා. මේක මානසිකව බලපාන දෙයක්. මේ අසහනකාරී හැඟීම එහෙමත් නැත්නම් ඉෂ්ට කරගත යුතු බලවත් ආශාව නිසා අපේ උපරිමයෙන් තිබුණු මානසික සුවතාවය පහළ බහිනවා. ආයෙමත් පාරක් ටිකවේලාවකින් පස්සේ බුලත්විටක් කෑවම හරි සිගරට් එකක් බිව්වහම හරි අඩුවෙච්චි නිකොටින් ආයෙමත් ලැබිලා අර අසහනකාරී හැඟීම දුරුවෙලා මානසික සුවතාවය ටිකක් වැඩිවෙනවා. ඒ විදියට අඩුවෙච්චි මානසික සුවතාවය තරමක් වැඩිවීම නිසා හිතට සහනයක් දැනෙනවා.සැහැල්ලූවක් දැනෙනවා. මේ අසහනකාරී හැඟීම දුරුවෙලා හිතට සැහැල්ලූවක් සහනයක් දැනීම තමයි ඔය සතුටක්, වින්දනයක් කියලා කියන්නේ.

Q- එතකොට සිගරට් බිවවා කියලා පට්ට ආතල් එකක් නැද්ද? එහෙනම් ඔය මිනිස්සු කියන්නෙ?

A- සිගරට් එකෙන් සැබෑ සතුටක්, වින්දනයක් ලැබෙනවනම් මිනිස්සු මේක නවත්ත ගන්න උත්සාහ කරන්නේ ඇයි? බාගෙට බීලා විසික් කරන්නේ ඇයි? තමන්ගේ ළමයින්ට සිගරට් බොන්න එපා කියන්නේ ඇයි? අවුරුද්දේ මාස 6ක් සිගරට් බීලා ඉතිරි මාස 6 නොබී ඉන්නේ ඇයි?

-බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි!

- කොටින්ම කිව්වොත් සිගරට් බොනවා හරි බුලත්විට කනවා හරි කියන්නේ ඇතුලතින් දැවෙන ගින්නක් නිවා ගන්නවා වගේ වැඩක්.අසහනකාරී හැඟීමක් දුරු කර ගන්නවා වගේ වැඩක්.අපේ ඇගේ තියෙන දදයක් කසන කොට සනීපයක් සැහැල්ලූවක් දැනෙනවා නේද? ඔලූව බිත්තියේ හප්පගෙන හප්පගෙන ගිහිල්ලා නැවැත්තුවහමත් සනීපයක් තියෙනවා නේද?

 සිගරට් එකක් බීපං` බුලත්විටක් කාපං කියලා නිකොටින් රකුසා දැඩි ලෙසින් ඉල්ලන කොට ඒ අසහනකාරී හැඟීමෙන් මිදෙන්න දුම්කොළ කාලා තාවකාලිකව සහනයක් ලබා ගන්නවා.ආයෙ ටිකවෙලාවකට පස්සේ නිකොටින් ලේවල අඩුවෙලා අසහනකාරී හැඟීම එන්න පටන් ගන්නවා.ඊට පස්සේ දිගින් දිගටම මුළු ජීවිත කාලය පුරාවටම අර අසහනකාරී හැඟීම දුරුකර ගන්න දුම්කොළ පාවිච්චි කරන්න ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා.නිකොටින් උගුල කිව්වේ මේකයි.

Q- එතකොට සමහරු කියන්නේ මං ස්ට‍්‍රසේ එක නැති කරගන්න සිගරට් බොනවා කියලා.ඒ කථාවේ තේරුම මොකක්ද?

A- ඒක තමයි මං කලින් විස්තර කළේ. නිකොටින් ඇගට ඇතුල් වෙලා අර අසහනකාරී හැඟීම දුරුවෙලා ගිහින් තාවකාලිකව මානසික සුවතාවයක් දැනෙන එකට තමයි ඔය ස්ට‍්‍රසේ එක එහෙම නැත්නම් ආතතිය දුරුවීමට උදව් වෙනවා කියන්නේ. ඇත්තටම හිතලා බැලූවොත් ආතතිය ඇතිකළේ සිගරට් එකෙන්.එහෙමත් නැත්නම් බුලත්විටේ තිබ්බ දුම්කොළයෙන්.

Q- එතකොට මං දැකලා තියෙනවා සමහරු කාගෙන් හරි බැණුම් ඇහුවහම, බ්ලාස්ට් එකකට අහුවෙලා තුවාල උනාම සිගරට් වැඩිපුර බොනවා.ඇයි ඒ?

A- ඒකට හේතුවක් තියෙනවා.සිගරට් එකේ තියෙන විෂ රසායන වලින් මොළේ කොලොප්පං වෙලයි තියෙන්නේ.ඉතින් මොකක් හරි බාහිර බලපෑමක් වෙලා කායික හරි මානසික හරි වේදනාවක් ආවහම මොළය ඒක අර්ථ නිරූපණය කරන්නේ සිගරට් එකක් බොන්නට හිතෙන අසහනකාරී හැඟීමක් විදියටයි. ඉතින් මේ වෙලාවට සිගරට් එකක් පත්තුකර ගන්නවා මිසක් වෙන මොනවා කරන්නද?

Q- සමහරු කම්මැලි හිතුනහම,යාළුවොත් එක්ක ඉන්නකොට, කෑම කෑවයින් පස්සේ, ටොයිලට් යනකොට හරි මොකක් හරි වැඩක් කරන්න කලින් සිගරට් එකක් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. ඒ ඇයි?

A- මතක තියා ගන්න! සිගරට් එකක් බොනවා හරි බුලත්විටක් කනවා හරි කියන්නේ අසහනකාරී හැඟීමක් දුරු කරගන්නවා කියන එකයි.දුම්පානය කරන කෙනාට ඒ හැඟීම විවිධාකාර අවස්ථාවල දුරුකරගන්න හිතෙනවා.එයා හැම මොහොතෙම බලන්නේ සිගරට් එකක් බීලා නිකොටින් උගුලට අහුවෙන්න කලින් හිටපු මානසික සුවතාවයට යන්න.ඒත් කවදාවත්ම විසක් පාවිච්චි කරලා ඒ දේ කරගන්න බැහැ.

Q- ඇයි එහෙම කියන්නේ?

A- අපි සිගරට් බොන්නේ හරි දුම්කොළ කන්නේ ඇග එපා එපා කිය කිය කෑගහනකොටයි. සිගරට්ටුවේ තියෙන අප‍්‍රියජනක රසය හා ජරා ගඳ අමතක කරලා අසහනකාරී හැඟීම දුරු කර ගන්න ජීවිතය පරදුවට තබනවා.මේ විසට එරෙහිව දවසින් දවස ඇග ප‍්‍රතිරෝධයක් ගොඩ නගා ගන්නවා.අන්තිමේදී අසහනකාරී හැඟීම දුරුකරගන්න භාවිතා කළ යුතු නිකොටින් ප‍්‍රමාණය ඉහළ යනවා.එතකොට අවුරුද්දෙන් අවුරුද්ද සිගරට් හරි බුලත්විට හරි ගන්න ප‍්‍රමාණය වැඩිවෙනවා.මානසික සුවතාවය ඉහළ යන ප‍්‍රමාණය අඩුවෙනවා.

- අනේ අපොයි` ඉතින් මේ උගුලෙන් ගැලවිලා නිදහස් ජීවිතයක් ගත කරන්න විදියක් ඇත්තටම නැද්ද? මම නම් අද ඉදන් කොහොම හරි මේක නවත්වනවා.මේ ජරාව නම් මගේ බල්ලටවත් එපා!

A- කොහොමහරි මේක නවත්වන්න ගියොත් වැඬේ වර්චස් වෙනවා.කොහොමහරි මේක නවත්වනවා කියන්නේ හිතේ ආසාව මැඬගෙන ඉන්නවා කියන එකයි.මේකට අධිෂ්ඨාන ක‍්‍රමය කියලා කියනවා.ඒක බොහෝදෙනෙක් පාවිච්චි කරන අසාර්ථක ක‍්‍රමයක්. හැබැයි කලාතුරකින් හරියන අය ඉන්නවා.ඉතාමත්ම ටික දෙනයි.

Q- ඇයි අධිෂ්ඨාන ක‍්‍රමය අසාර්ථක වෙන්නේ?

A- අපි සිගරට් බොන එක නවත්වන්නේ ලෙඩක් හැදුනම හරි ලෙඩක් හැදෙයි කියන බය හිතට ආවම හරි. ලෙඬේ සනීප වුනාම ආයේ සිගරට් බොන්න පටන් ගන්නවා.නැත්නම් හිතට ආපු බය නැතිවෙලා ගියහම ආයේ සිගරට් බොන්න පටන් ගන්නවා.සිගරට් එක තමන්ට වටිනවා කියන හැඟීම තියෙන තාක් ඒක බොන්න ආසාවක් තියෙනවා.ඒ ආසාව තාවකාලිකව බය විසින් මැඬපවත්වනවා. ඒ බය නැතිවෙලා ගියාට ආසාව නැතිවෙලා යන්නේ නැති නිසා ආයේ සිගරට් බොනවා. අධිෂ්ඨාන ක‍්‍රමය බහුතරයකට අසාර්ථක වෙන්නේ ඒකයි.

Q- ටිකෙන් ටික අඩුකරගෙන ගිහින් නවත්වන්නත් ලේසියි නේද?

A- ඒකත් අසාර්ථක වීමේ සම්භාවිතාවය වැඩියි. දවසකට සිගරට් 20ක් බොන කෙනෙක් විසි පාරක් අසහනකාරී හැම දුරු කර ගන්නවා. ඕක අමාරුවෙන් 10ට බැස්සුවාම දහපාරයි අසහනකාරී හැඟීම දුරු කරගන්නේ.එතකොට අසහනයෙන් ඉන්න කාලපරාසය වැඩිවෙනවා.දැන් සිගරට් එකක් බීලා ඊළඟට සිගරට් එකක් බොන්නේ කොයි වේලාවේද කියලා පුලපුලා බලා ඉන්නවා.සිගරට් එක ලෝකයේ තියෙන වටිනාම වස්තුව වෙනවා. ඒනිසා ආයෙමත් අසහනය වැඩිවෙලා අන්තිමේදී තමන්ටත් නොදැනීම කලින් ගානට වඩා වැඩියෙන් සිගරට් බොන්න පටන් ගන්නවා.

Q- ආදේශක පාවිච්චි කරලා සිගරට් නවත්වන්න පුළුවන් නේද?

A- ඒකත් බහුතරයකට සාර්ථක වෙන්නේ නැහැ.ආදේශක පාවිච්චි කරන එක හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්.

Q- ඇයි එහෙම කියන්නේ?

A- ආදේශක වර්ග දෙකක් තියෙනවා. නිකොටින් අඩංගු ප්ලාස්ටර්,ස්ප්‍රේ , චුයින්ගම් වගේ දේවලූත් නිකොටින් අඩංගු නොවන ටොපි, චොකලට්, අයිස්ක‍්‍රීම්, පෙපර්මින්ට්, බනිස් වගේ දෙවල් මීට අදාලයි. සිගරට් බොන එක නවත්වලා දුම්කොළ කන්න පටන් ගත්තහම සමහරු හිතන් ඉන්නවා සිගරට් බොන එක නැවැත්තුවා කියලා.ඒ අදහස හරි.නමුත් එයා තවමත් නිකොටින් උගුලට අහුවෙච්ච කෙනෙක්. එයාගේ ප‍්‍රශ්නේ විසඳිලා නැහැ.නිකොටින් තියෙන මොකක් හරි ආදේශකයක් හැටියට පාවිච්චි කරනවා නම් ඒයා සිගරට් බිව්වේ නැති වුනාට තවමත් නිකොටින් උගුලට අහුවෙලා ඉන්න කෙනෙක්. ටොපි,චොකලට්,චුයින්ගම් කෑවහම වෙන්නේ නිකං බර වැඩිවන එක විතරයි.අර අසහනකාරී හැඟීම තාවකාලිකව යටපත් වුනත් පස්සේ දවසක සිගරට් බොන්න පටන් ගන්නවා.

Q- එතකොට සිගරට් එක නවත්වන්න තියෙන ස්ථිර හා පහසුම ක‍්‍රමය මොකක්ද?

A- සිගරට් එක මං නවත්වන්න ඕනේ කියන මානසිකත්වයට මුලින්ම එන්න ඕනේ.ඊට පස්සේ මං විස්තර කරලා දීපු කරුණු-කාරණා ඔස්සේ හිතා බලලා තේරුම් ගන්න ඕනේ සිගරට් එකෙන් මං බලාපොරොත්තුවෙච්ච ප‍්‍රතිලාහ මට ඇත්තටම දුන්නාද කියලා.සිගරට් එක බොන්න තමන්ට තිබිච්ච සාධාරණ හේතු මුලාවක් කියලා තේරුම් ගත්තම සිගරට් එක එක රැයින් නවත්වන්න පුළුවන්.

- මේ ගැන පොතක් ලියලා තියෙනවා කියලා ආරංචියක් ආවා.

- ඒක මං පරිවර්තන කරපු පොතක්.දවසකට සිගරට් 100ක් බීලා පහසු මග අනුගමනය කරලා සිගරට් නවත්තපු ඇලන් කාර් කියන කතුවරයා ලියපු භාෂා 40කට පරිවර්තනය වෙච්ච Easy Way to Stop Smoking කියන පොතේ සිංහල පරිවර්තනය-නිකොටින් ලෝලීත්වය සුවකිරීමේ පහසු මග

Q- මේ පොතේ විශේෂත්වයක් තියෙනවා නේද?

A- ඔව්.පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් එකක් බොන්න අදහසක් ඔලූවට එන්නේ නැහැ.සිගරට් බොන කෙනෙකුට පොත කියවන ගමන් උනත් සිගරට් බොන්න පුළුවන්.තාවකාලිකව සිගරට් බොන එක නවත්තලා ඉන්න කෙනෙක්නම් එහෙම නොකළාට කමක් නැහැ.

Q- පොත කියෙව්වහම සිගරට් බොන එක නැවතෙන්නේ කොහොමද?

A- පොතේ තියෙන්නේ ඇලන් කාර්ගේ ජීවිත කථාව.එයා සිගරට් එක එක රැයින් නැවැත්තලා ප‍්‍රීතිමත් මිනිසකු වෙච්ච හැටි පොතේ විස්තර වෙනවා.පොත කියවාගෙන යනකොට සිගරට් එක ගැන තියෙන මුලා සහගත අදහස් ඉවත්වෙලා යනවා.සිගරට් එක නැවැත්තුවහම එන දැඩි හැඟීමට මුහුණ දීලා නිදහස් මොහොත උදාකරගෙන යළි කිසිම දවසක සිගරට් එකක් කටේ තියන්න ඕන වෙන්නැති කෙනෙක් බවට පත්වෙන හැටි සරල භාෂාවෙන් විස්තර කරලා තියෙනවා.

- මේක නම් හරිම ෂෝක් පොතක් වෙන්න ඇති.

- ඔව්.මේ පොත අතිගරු ජනාධිපතිතුමාගේ හා යුධ හමුදාපතිතුමාගේ පවා අවධානයට ලක් වුනා.එතුමාගේ මතින් තොර දේශයක් බිහිකිරීමේ අවංක උත්සාහයට මමද හැකි පමණින් දායක වෙනවා.

Q- මේ පොත කොහෙද ගන්න තියෙන්නෙ?

A- මේ පොත සහනදායී මිලකට පනාගොඩ හා නාරාහේන්පිට යුධහමුදා රෝහල්වලින් ලබා ගන්න පුළුවන්.ඊට අමතරව සරසවි හා ගුණසේන පොත් සැල්වලින් ගන්නත් පුළුවන්.

Q- මේ වගේ හොඳ වැඩක් කරලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

A- මම දොස්තර කෙනෙක්.මිනිස්සුන්ගේ සෞඛ්‍යය මට්ටම ඉහළ නංවලා ගුණාත්මක ජීවිතයක් ලබා දීමට අප බැඳී සිටිනවා.දුම්කොළය විසින් අපේ ඒ උදාර අරමුණ වනසා තිබෙනවා.මට ඕනේ කරන්නේ මිනිස්සුන්ව දැනුමෙන් සන්නද්ධ කරවලා දුම්කොළය ඒ අයව ගොනාට අන්දලා තියෙන හැටි පෙන්නලා දීලා නිකොටින් උගුලෙන් ඒ අයව ගලව ගන්න.එතකොට මට දයාබර පියෙක්ව, දරුවෙක්ව, සොහොයුරෙක්ව ඒ අයගේ ආදරණියයන්ට අකල් මරණවලින් බේරලා දෙන්න පුළුවන්. ඒ පින මගේ ආධ්‍යාත්මික ගමනේ කෙළවර සාර්ථක කර ගන්න මට කවදා හෝ දවසක උදව්වේවි කියලා මං විශ්වාස කරනවා.

Q- සිගරට් එකෙන් නිදහස් වෙලා සතුටින් ජීවත්වන්න කැමති දහස් ගණනක් අපි අතරේ ඇති.ඒ අයට ඔබව මුණගැහෙන්න ක‍්‍රමයක් තියෙනවද?

A- ඒ වගේ අයට නොමිලයේ උදව්කරන්න මං කැමතියි. මට කථාකරන්න. +94777812514- වෛද්‍ය ධනුෂ්ක දිසානායක